HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දිවිසැරියෙන් සමුගත් ඩබ්ලිව් හතරේ හිතුවක්කාරයා

අපේ හිතමිතුරන් කීපදෙනකු ම පසුගියදා අප අතහැර දමා දිවිසැරියෙන් සමු ගත්තා. එයින් අපේ වේදිකාවෙන් ද, සිනමාවෙන් ද, රූපවාහිනියෙන් ද, ගුවන්විදුලියෙන් ද, ගීත රචනයෙන් ද, අප ආනන්දයට පත් කළ ඩබ්ලිව්. ජයසිරි ප්‍රධාන ය. ඔහු 2024 සැප්තැම්බර් 22 වැනිදා ජීවිතයෙන් සමුගත්තා. ඒ වන විට ඔහු 77 හැවිරිදි වියේ පසු වුණා. මේ ලිපිය පළ වෙන්නේ ඒ නිමිත්තෙනි. 


ඩබ්ලිව් හතරේ හිතුවක්කාරයා 

ඩබ්ලිව් අකුර මුලකුරට පාවිච්චි කළ හා කරන අය අපේ රටේ ඕනෑ තරම් ඇත. එහෙත් ඩබ්ලිව්. ජයසිරි සම්බන්ධයෙන් ඩබ්ලිව් යනු මුල අකුරක් නොව තනිකරම නමකි; අනන්‍යතාවකි. 

ලංකා වේදිකාවේ, සිනමාවේ, රූපවාහිනියේ ඩබ්ලිව් අයිතිය මූලික වශයෙන් තහවුරු වී ඇත්තේ ජයසිරිටය. 

ඩබ්ලිව්. ජයසිරි යන අතුරු හතරේ නම් දෙකකි. ඔහු මාගේ වැඩිහිටි මිත්‍රවරයෙකි. මා ඔහු ඇසුරු කරන්නට භාග්‍යය ලද, ඔහුට පසු පරපුරක සාමාජිකයෙක්මි. වරෙක නෙත් ගුවන් විදුලියේ විකාශය වූ ‘සත්‍යා’ ගුවන් විදුලි නාට්‍යයේ දී මගේ පිටපතකට ඔහු අධ්‍යක්ෂණය කරන්නට වරම් ලැබුවෙමි. ඔහු එහි ගුණපාල මුදලාලි වන විට මා ඔහුගේ රියැදුරා වන ප්‍රේමසිරි වූයෙමි. ඒ වූකලී මා ලිලිපුට්ටකු ලද ගලිවර ඇසුරකි; දුලබ අවස්ථාවකි. 

ඩබ්ලිව්. ජයසිරිගේ කුළුඳුල් ප්‍රාසාංගික ටෙලිනාට්‍යය වන ‘මුරුගසං’ අධ්‍යක්ෂණය කරන විට එය තිර රචනය කිරීමේ භාග්‍යය ද ලදිමි. මා එයට තෝරා ගැනීම ගැන ප්‍රසිද්ධියේ මෙසේ තුති පුදමි. ඔහු විසින් මා ද මා විසින් ඔහු ද සම්මුඛ සාකච්ඡාවලට ලක් කරනු ලැබ තිබේ. වරෙක නිවේදකයකු රහිත සාකච්ඡාවකට අපි දෙදෙනාම සහභාගි වීමු. ඒ ‘වී එෆ් එම්’හි ‘දන්න දෙන්නෙක්’ වෙනුවෙනි. 

කුඩා මා හා විශාල ජයසිරි අතර නිර්මාණ හා බැඳුණු කෙටි ඉතිහාසය එසේ ය. ඉතින් මට පෙනෙන ඩබ්ලිව්. ජයසිරි කවුද? එය මෙසේ පැහැදිලි කරමි. ඩබ්ලිව් කියා සිංහලෙන් ලියද්දී අකුරු හතරකි. මම ඩබ්ලිව් අකුරු හතරකින් පටන් ගන්නා ඉංග්‍රීසි වචන හතරකින් ඔහු හඳුනාගන්නට වෙර දරමි. 

1. පළමු ‘ඩබ්ලිව්’ සහිත වචනය, Wise (වයිස්) 

ඩබ්ලිව්. ජයසිරි සම්බන්ධයෙන් මේ වචනය මැනවින් ගැලපේ. ඔහු කල්පනාකාරීය; දැනුමුතු ය; ප්‍රඥාවන්තය. ඔහුගේ ඇසුරට අප ලොල් වන්නේ එහෙයිනි. 

2. දෙවැනි ‘ඩබ්ලිව්’ සහිත වචනය, Warm (වෝම්) 

ඔහු හිතවත්ය; උණුසුම් ය; මිත්‍රශීලී ය. අප ‘ජයසිරි අයියා’ කියන විට ඔහුට අපට මචං ය. කලාතුරකින් හමුවන මචංවරයෙකි. ඩබ්ලිව්. ජයසිරි. ඔහු සමග සල්ලාපය අධ්‍යාපනිකය.‍ 

3. තුන්වැනි ‘ඩබ්ලිව්’ සහිත වචනය, Worthy (වර්දි) 

ඔහු අපට වටනේය. රංගනයේ අයනු ආයනු සොයන්නන්ට ජයසිරි අධ්‍යයනය ඉහළම පාඨමාලාවක් වනු නිසැකය. එහෙයින් ඔහු ගරු කටයුතුය. 

4. සිවුවැනි ‘ඩබ්ලිව්’ සහිත වචනය, Wild (වයිල්ඩ්) 

මේ ඩබ්ලිව්. ජයසිරිට හරියටම ගැලපෙන ඩබ්ලිව් අකුර විය හැකිය. 

ඔහු වචනයේ අර්ථයටත් එහා වයිල්ඩ්; දඩබ්බරය; හිතුවක්කාරය; කට කෑවත් කියන්න තියෙන දෙය කියයි; හිත රිදෙයි කියා ඇත්ත නොකියන්නේ නැත. කතාව ද වැඩ ද කෙළින්ය. කෙළින් ඉන්නට බැරිම වුණොත් බැරි වුණු බව පිළිගන්නවා මිස එකක් තියාගෙන වෙන දෙකකින් කෙළින්න යන්නේ නැත. 

ස්ථාපිතය ඉදිරියේ ඩබ්ලිව්. ජයසිරි දමනය නොවේ; නොදැමුණුය. සාන්තුවර සංස්කෘතිය ඉදිරියේ ඔහු පට්ට වල් ය. එහෙත් ඔහු කිසිවටෙකත් ඇල් නැත. 

මේ සටහන මම ලිව්වේ ජයසිරි සොයුරා වෙනුවෙන් සුදර්ශී සහෘදයන් සංවිධාන කළ උපහාර උළෙලේදී ඉදිරිපත් කරන්නටය. 

ඔහුගේ සගයන් ජීවිතයෙන් නික්ම යන සෑම මොහොතකම ඔහු මෙසේ පැතුවේය. “සුබ සිහින දකින දිගු නින්දක් පතමි!” අද ඔහු වෙනුවෙන් අපට එයම ලියන්න සිදුව තිබේ. 

පුරාවෘත්තයක් වූ වැඩිහිටි මිත්‍රයා, මතක සාගරයක් අප වෙත ඉතිරි කර තබා, ඈත සිතිජයෙන් එපිටට ගොස් ඇත. 

ජයසිරි අයියේ, සමාජයක් හැටියට දුටු සුබ සිහින සැබෑ වෙමින් පවතින මොහොතක, ඔබ දිගු නින්දකට යෑම, ශෝකය වැඩි කරවයි. හද බර ය. සෝ බර ය.

- විමල් කැටිපෙආරච්චි 

සටහන - අපේ සුමිතුරු ඩබ්ලිව්. ජයසිරි රසවතාගේ වියෝගය පළ කරන්නට කළ නිර්මාණ අතුරින් විශිෂ්ට එකක් ලෙස මෙය මම දකිමි. ‘ලංකාදීප’යේ පළ වූ මෙය මෙසේ යළි පළ කරන්නේ අපේ තරුණ නිර්මාණකරුවකු වූ විමල්ගේ නිර්මාණ කුසලතාව අගය කිරීමටත් එක්කය. නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් කළ ‘රට අනුරට’ ප්‍රචාරක ගීතය ද ඔහුගේ පෑන් තුඩින් බිහි වූවකි. කවදත් අලුතින් යමක් දෙන්නට කලින් ටිකක් හිතන ඔහු පළ කරන මෙවන් නිර්මාණ මේ පරපුරට ද මතු පරපුරට ද ආදර්ශයකි.

Post a Comment

0 Comments